Resources‎ > ‎

Sinhala



 
 
  
ධම්මධාරිනි විහාරය 


ධර්මය දරා සිටින්නී ධම්මධාරිනියයි.


උතුරු කැලිෆෝනියාවේ ෆ්රීමොන්ට් නගරයේ පිහිටි ධම්මධාරිනි විහාරය ධර්මය දරා සිටින බෞද්ධ කාන්තාවන්ට සෙවන දෙයි. භික්ෂුණීන් වහන්සේලා තෙනමකගේ දහම් බිජුවටයෙන් ධම්මධාරිනි විහාරය මල් පල ගැනුනේ 2005 වසරේ නිකිණි මාසයේදීය. එතැන් සිට පුරා සිව් වසරක් දාන ශීල භාවනාදියෙන් පරිපෝශිත ව බොදුනු සමාජය වෙත නොමද සේවයක් ඉටු කල විහාර වාසී භික්ෂුණීන් වහන්සේලාට 2009 වසරෙහිදී සිය වාසස්ථානය වනගත ආරණ්‍යක් කරා ගෙන යාමේ අවස්ථාව උදා විය. බොදු බැති ජිල් රයනා මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද "ජෙනර්" පෙදෙසෙහි පිහිටි මනරම් කඳුකර භූමියක , ධම්මධාරිනි දායක දායිකා ශ්‍රමදානයෙන් "අරණ්‍ය බෝධි" භික්ෂුණී ආරාමය ඉදි කෙරුනි. නිල් වන වදුලින් හා සීතල දිය දහරින් සිසිල් වූ ආරණ්‍ය භූමියෙහි භාවනානුයෝගීව වෙසෙන භික්ෂුණීන් වහන්සේලා තම මුල් වාසස්ථානයෙහි දායක දායිකාවන් හමු වීම සඳහා ෆ්රීමොන්ට් පෙදෙසට වැඞම කල විට තාවකාලිකව ලැගුම් ගන්නා ආරාමය බෝධි විහාරයයි.


උතුරු ඇමෙරිකාවේ බටහිර දේශයෙහි ප්‍රථම ථෙරවාද භික්ෂුණී ආරාමය ලෙස සැලකෙන්නේ ධම්මධාරිනි විහාරයයි. භික්ෂුණී වාසස්ථාන සුලභව දක්නට නොලැබෙන උතුරු ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වෙනියට බිහි වූ ආරාමය මෙය වේ. ථෙරවාද බුදු දහම අනුගමනය කරන ධම්මධාරිනි විහාර වාසී භික්ෂුණීන් වහන්සේලා බෞද්ධ සම්ප්‍රදායයන් යථා අයුරින් පවත්වා ගැනීමට උත්සුක වෙති. භාවනා, සූත්‍ර දේශනා ආදිය සති පතා පැවැත්වෙන අතර පොහොය දින වල විශේෂ ආගමික වැඩ සටහන්ද වාර්ෂිකව වස් සමාදන් වීමද සිදු කෙරේ.




වස් කාළයෙහිදී පිඩු සිඟා වඩින භික්ෂුණීන් වහන්සේලා


විහාරයේ නිර්මාතෘවරිය මෙන්ම ආශ්‍රාමාධිපතිනිය ව න්නේ ගරු තථාලෝකා භික්ෂුණීන් වහන්සේය. එකුන් විසි වියෙහිදී ගිහි ජීවිතය අත හැර පැවිදි බිමට පිවිසි එතුමිය, තායි සම්ප්‍රදායන් අනුගමනය කරමින් Ven. Myeong Seong Siunim භික්ෂුණීන් වහන්සේ වෙතින් බුදු දහම ප්‍රගුණ කල සේක. 1997 වසරේදී අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී, ශ්‍රී ලාන්කික, තායි, ලාඕස්, කාම්බෝජ සහ වියට්නාම් ජාතික භික් ෂු- භික්ෂුණී සමුළුවකදී එතුමිය උපසම්පදාවෙන් පිදුම් ලද්දාය.
උතුරු ඇමෙරිකාවේ භික් ෂුණී ශාසනය ප්‍රචලිත කරනු වස් එතුමිය විසින් North American Bhikkuni Association ආරම්භ කරන ලද්දේ 2005 වසරේදීය . එතැන් සිට අද දක්වා පැමිණි ගමනේදී ධම්මධාරිණි විහාරය බෞද්ධ කාන්තාවන් කිහිප දෙනෙකු භික්ෂුණි සාශනය වෙත පුද කිරීමෙහි සමත් වී ඇත.

ආරණ්‍ය බෝධි





යෝධ රෙඩ් වූඩ් තුරු වදුලින් පිරි මහ වනය සීතල් සුළඟින් සලිත වී යයි. පැසිෆික් සයුරු තීරය වසා ඇති ඝන මී දුම මහ මග පසු කොට වනය තුලට ඇදී එයි. නිසොල්මනේ ගලා යන දිය පහර වෙත ලඟා වන මුව පොව්වෙක් සැනසිල්ලේ දිය උගුරක් බොන්නට සැරසෙයි. කසා වතින් සැරසුණ භික්ෂුණින් වහන්සේලා සය නමක් වන රොද මැදින් වැටී ඇති අඩි පාර දිගේ සන් සුන් ගමනින් බුදු මැදුර වෙත පිය ඔසවති. මේ පියකරු දසුන ඔබ දකින්නේ උතුරු කැලිෆෝර්නියාවේ සොනොමා කඳු පෙදෙසෙහි පිහිටි " අරණ්‍ය බෝධි " භික්ෂුණි ආරාමයේදීය.

උතුරු ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බටහිර වෙරළබඩ අලංකරණය කරන සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙන් සැතපුම් අසූවක් පමණ උතුරු දෙසින් පැසිෆික් සයුර ආශ්‍රිතව බිහි වූ, වන වදුලින් ගහන වූ කුඩා කඳු ගැටයක් මත මෙම ආරාමය පිහිටා ඇත.


ආරාමයේ නිර්මාතෘවරිය මෙන්ම අධිපතිනියද වන ගරු තථාලෝකා භික්ෂුණින් වහන්සේ තවත් භික්ෂුණින් වහන්සේලා පස් නමක් සමග දැනට මෙහි වස් වසති.
මිනිස් ජනාවාසයකින් සැතපුම් ගණනක් ඈතින් පිහිටි ආරණ්‍ය භූමියට විදුලි බලය හෝ ජාල නල පහසුකම් නොමැත. ශීත ඍතුවේ උඳුවප්, දුරුතු හා නවම් මාස ඇතුලත මෙම පෙෆෙසෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් 30 පමණ පහත බසී. ශීත ඍතුවේදී සොනොමා ප්‍රදේශ වාසීන්ගේ නිවෙස් විදුලි උදුන් වලින් උණුසුම් වුවද, එවන් පහසුකම් නොමැති ආරණ්‍ය බෝධිය උණුසුම් වන්නේ සිල්වත් භික්ෂුණින් වහන්සේලාගේ ශාන්තමය සිත් සතන් වලින් පමණි. භාවනානුයෝගී භික්ෂුණින් වහන්සේලා වෙනුවෙන් සාදා නිම කල කුටි කීපයක්, බුදු මැදුරක් හා මුළුතැන් ගෙයකින් සමන්විත ආරාමය උන් වහන්සේලාගේ අවම අවශ්‍යතා සපුරාලන පරිදි නිම වී ඇත.

පසුගිය බිනර පුන් පොහෝ දින උදෑසන අරණ්‍ය බෝධියෙහි භික්ෂුණින් වහන්සේලා, සැදැහැවත් ගිහි පිරිසක් සමග එක් ව භික්ෂුණි ශාසනය ලොවට හඳුන්වා දුන් මහා ප්‍රජාපති අරහත් මෙහෙණින් වහන්සේ සිහි කරනු පිණිස පින්කමක් පැවැත්විණ . භික්ෂුනී සාශනයේ ආරම්භය සහ පැවැත්ම, වර්තමාන සමාජයෙන් භික්ෂුනීන්ට ලැබෙන සහයෝගය, උතුරු ඇමෙරිකාවේ භික්ෂුණි සාශනයේ ප්‍රගතිය, සහ ආරාම එකිනෙක අතර සහ සම්බන්ධතාව යන මාතෘකාවන් මෙහිදී සාකච්චා කෙරින. මෙහෙණි සස්නෙහි විශේස සිදුවීමක් ලෙස, ශ්‍රී මහ බෝධි ශාකාව ශ්‍රී ලංකාවට වැඩම කල සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේද ගව්රවයෙන් සිහිපත් කරනු ලැබීය.






දහම් සිතුවිලි


1) http://www.rivira.lk/2010/12/19/rividahara14.htm

2) http://www.rivira.lk/2010/12/05/rividahara17.htm

3) http://www.divaina.com/images/13augbudu/bud08.html

4) http://www.rangiri.com/%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b1%e0%b7%8f/



භික්‌ෂුණි ශාසනය යළි ශ්‍රී ලංකාවේ පිහිටුවිය නොහැකිද? - පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි විසින් 12/20/2010 දින දිවයින පුවත් පතෙහි පල කරන ලද ලිපියකි

http://www.divaina.com/2010/12/20/pansala02.html
--
This page is the gift of Mala Wijekoon.